සමාජ ජාල තහනම ගැන ඇමරිකාවෙන් ලන්කාවට රතු තවත් නිවේදනයක්

මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව පනවනු ලැබ තිබෙන සමාජ මාධ්‍ය ජාල තහනම පිළිබඳ මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මාතෘකාව වී තිබේ.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල තහනම ඉක්මනින් ඉවත් කරන මෙන් විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීම් ගණනාවක් කර තිබූ අතර, පසුගිය 11දා ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් ට්විටර් පණිවුඩයක්ද නිකුත් කර තිබුණි.

එහි දැක්වුනේ සමාජ මාධ්‍ය ජාල යනු මානව සම්බන්ධතා වෙනුවෙන් යොදා ගනු ලබන අවිධිමත් සහ වෙනස් වෙමින් පවතින මෙවලමක් වන නමුත්, ප්‍රචණ්ඩත්වය සහ නොඉවසීම පැතිරවීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඒ සඳහා සමාජ ජාල යොදාගන්නා වෛරයෙන් පිරුණු පුද්ගලයන් විනා සමාජ මාධ්‍ය ජාල නොවන බවය.


කෙසේ වෙතත් මෙම තහනම ඉවත්කිරීමට රජය මෙතෙක් පියවර ගෙන නැති අතර ඇමෙරිකානු තානාපතිවරයා අද (13) දිනයේද සිය ට්විටර් ගිණුමේ මේ බව සඳහන් කර තිබුණි.

‘‘ශ්‍රී ලංකාව දිගින් දිගටම සමාජ මාධ්‍ය ජාල වාරණය කරන්නේ නම් එය සංචාරක කර්මාන්තයට , තොරතුරු තාක්ෂණයට, මෙන්ම අනෙකුත් ව්‍යාපාරයන්ට දැවැන්ත පාඩුවක් වනු ඇතියි.
එමෙන්ම නිදහස හා විවෘතභාවය පිළිබඳ ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට මෙය කැළලක්.විදේශ ගතව සිටින සමීපතමයින් හා සම්බන්ධ වීමට බොහෝ ශ්‍රි ලාංකියන් සමාජ මාධ්‍ය යොදාගන්නවා‘‘. යැයි ඔහු සඳහන් කරයි.